මාතර – කතරගම ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

මාතර – කතරගම ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19) සහ හෙට (20) දහවල් 12 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන් වනතුරු මාතර කතරගම ප්‍රධාන මාර්ගය මැදවත්ත කාර්මික විද්‍යාල හංදියෙන් සහ තලල්ල දකුණ මහා විද්‍යාලය අසලින් තාවකාලිකව වසා දමන බව පොලිසිය පවසනවා.

ඒ අනුව, පොලීසිය මහජනතාව වෙත දැනුම්දෙන්නේ, පෙරෙහැර සඳහා විශාල බැතිමතුන් පිරිසක් මේ අවස්ථාවට එක්වීමට නියමිත බැවින් වාහන ගමනාගමනයට බාධා එල්ල වන බවත්, වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන බවත් ය.

එම කාලය තුළ තංගල්ල හෝ කතරගම දෙස සිට මාතර දෙසට යන වාහන විකල්ප මාර්ගයක් ලෙස තලල්ල කාර්මික විද්‍යාලය අසලින් දකුණට ඇති නාඔටුන්න මාර්ගයේ ගමන්කර, වියන්නරුව හංදිය සිට කැකනදුර රත්මලේ මාර්ගයෙන් කැකනදුර දෙසට ධාවනය කර, එතැන් සිට කැකනදුර හංදියෙන් මාතර කැකනදුර මාර්ගයේ මැදවත්ත හංදියට ධාවනය කර එතැන් සිට මාතර දෙසට ගමන්කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මාතර දෙස සිට තංගල්ල හෝ කතරගම දෙසට යන වාහන මාතර දෙස සිට කැකනදුර මාර්ගයේ ධාවනය කර කැකනදුර හංදියෙන් රත්මලේ කැකනදුර මාර්ගයේ ගමන්කර, දික්වැල්ල නගරයෙන් කතරගම දෙසට ධාවනය කළ හැකි බවයි, පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තවද, තංගල්ල දෙස සිට ගන්දර දක්වා ධාවනය වන සියළු රථවාහන දෙව්නුවර ඉන්දන පිරවුම්හල අසල දක්වා ධාවනය කල හැකි බවද පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.