රුපියල් කෝටියක දුම්වැටි හා මත්පැන් සමග අයෙක් කටුනායකදී කොටුවෙයි
රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (31) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ – 14 , වේල්ස් කුමාර වීදියේ පදිංචි 45 හැවිරිදි, නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි.
මෙම පුද්ගලයා අලුයම 03.50 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1164 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර් ” සහ ” බෙන්සන් ඇන්ඩ් හෙජස් ” වර්ගයේ දුම්වැටි තොගයක් සහ බැලන්ටයින්, ලේබල් – 05 , බ්ලැක් ලේබල් සහ සිම්රොන් වොඩ්කා බෝතල් 125 ක් සගවා ගෙන සිටිය දී ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම දුම්වැටි සහ මත්පැන්, එළඹෙන උත්සව සමයේ, ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල මත්පැන් අලෙවි සැල් සහ රෙස්ටුරන්ට් වෙත අලෙවි කිරීම සදහා රැගෙන විත් තිබුණි.
මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ මත්පැන් බෝතල් තොගය සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.