ජනපති චීනයට ළඟාවෙයි

ජනපති චීනයට ළඟාවෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා තිබේ.

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.

අද (14) සිට ලබන 17 වනදා දක්වා ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන අතර එහිදී චීන ජනාධිපති ෂී ජින් පින්ග් , චීන අග්‍රාමාත්‍ය ලී කර්චියෑන්ග් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපතිවරයා, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිදුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටුකරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබේ.

මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇති බව සඳහන්.