මහාචාර්ය චන්න ජයසුමනට ජාත්‍යන්තර සම්මානයක්

මහාචාර්ය චන්න ජයසුමනට ජාත්‍යන්තර සම්මානයක්

අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය විසින් විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් පිරිනමන සම්මානය මහාචාර්ය චන්න ජයසුමන මහතාට හිමිව තිබේ.

ඔහුට මෙම සම්මානය ලබා දී ඇත්තේ 2019 වසර වෙනුවෙනි.

විවිධ පාර්ශ්ව වලින් එල්ල වූ අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුකළ දායකත්වය මත මෙම සම්මානය ඔහුට පිරිනමා තිබේ.

මෙම සම්මානය ඔහුට හිමි වූ බවට පළමු වරට ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී කෘෂි රසායන සමාගම් ඇතුළු විවිධ පාර්ශව ඊට විරෝධය දක්වා තිබූ බව වාර්තා වේ.

ඒ අනුව සම්මානය ලබාදීම යළි සලකා බැලීමට විශේෂ ජූරි සභාවකට යොමු කර තිබූ අතර එම ජූරි සභාව ද තීරණය කර ඇත්තේ මෙම සම්මානය ඔහුට ලැබිය යුතු බවටය.

ඔහුගේ මෙම පර්යේෂණ සිදුකිරීම සඳහා කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලකද සහාය වී තිබුණි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සම්මානය ලබාදීම ප්‍රමාද වී තිබේ.

අමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේදී එහි අධ්‍යක්ෂ තෙරේසා හැරිස් විසින් මෙම සම්මානය මහාචාර්ය ජයසුමන මහතාට පිරිනමා ඇත.

Share This