වසර 9කට පසු ජයක් සොයා චමරිලා තරග බිමට පිවිසෙති

වසර 9කට පසු ජයක් සොයා චමරිලා තරග බිමට පිවිසෙති

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20 තරගාවලිය අද (24 වැනිදා) ආරම්භ වීමට නියමිතය. කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව පන්දුවාර 20 තරගයක මුණ ගැසෙන්නේ වසර 6කට පමණ කාලයකට පසුව වන අතර අවසන් වරට දෙරට අතර පැවැති විස්සයි විස්ස තරග 5ම ජයග්‍රහණයන් කොදෙව්වෝ හිමි කරගෙන තිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම කාන්තා පන්දුවාර 20 ඉතිහාසයේ අවස්තා 23කදී හමු වී තිබෙන අතර ඉන් අවස්තා 19කදී ශ්‍රී ලංකාව පරාජය වී තිබෙන අතර එක් අවස්තාවකදී තරගය තීරනයකින් තොරව නිමාවට පත් විය. ශ්‍රී ලංකාව කොදෙව්ව කණ්ඩායම අවස්තා 3කදී පමණක් පරාජය කර තිබෙන අතර අවසන් වරට ශ්‍රී ලංකාව කොදෙව්වන් පැරදවූයේ 2015 වසරේ මැය මස කොළඹ ආර්.

ප්‍රේමදාස පිටියේ පැවැති තරගයකදීය. කෙසේ වෙතත් පසුගිය වසර දෙක තුනක කාල පරාසය තුළ නවක ක්‍රීඩිකාවන්ගේ එක් වීමත් සමඟින් ශක්තිමත් වූ සහ එක්දින තරගාවලියේ ජයග්‍රහණයද සමඟින් ජයග්‍රාහී මානසිකත්වයක සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට ද සූදානමින් සිටිනු ඇත.

තරගය අද පෙරවරු 10.00ට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ආරම්භ වන අතර සුපුරුදු පරිදි අදත් පිතිකරණයට වඩා උචිත තණතීරුවක් පිළිබඳව බලාපොරොත්තු තබාගැනීමට හැකි වනු ඇත. එමෙන්ම දඟ පන්දුවට තරමක වාසියක්ද හිමි වන සූරියවැව තණතීරුවේ කාසියේ වාසිය හිමි කරගන්නා නායිකාව පළමුවෙන් පන්දු යොමු කිරීමට වැඩි ඉඩක් ඇත. පන්දු යැවීමේ අංශය සාපේක්ෂව වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීමටනම් කොදෙව් නායිකා හේලි මැතිව්ස්ගේ කඩුල්ල පිළිබඳ වැඩි අවධානයක් ලබා දීමට සිදු වනු ඇත.

ක්‍රීඩා කළ අවසන් පන්දුවාර 20 තරග 10 තුළ ලකුණු 613ක් ලකුණු 68ක සාමාන්‍යයකින් සහ 148 ඉක්මවූ ප්‍රහාරාත්මක වේගයක් සමඟින් රැස් කර ඇති හේලිගේ කඩුල්ල අඩු ලකුණු ගණනකට ශ්‍රී ලංකාව සතු වූවහොත් තරගයේ ජය ලබා ගැනීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගනු ඇත.

සුපුරුදු පරිදි මෙම තරගයේදීත් චමරි අතපත්තු ලකුණු අතරට පැමිණීම ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ අතිශයින්ම තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇත. නිමා වූ තරග 10 තුළ එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු අතර සිටින් චමරි කඩුල්ලේ රැඳී සිටියහොත් විශ්මි, හර්ෂිතා, කවීෂා ඇතුළු යොවුන් පිතිකරණ බල ඇණියට තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑම එතරම්ම අපහසුවක් නොවනු ඇත.

මේ අතර මෙම තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය ඊයේ (23) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළේය.