එංගලන්තෙ පුහුණුවෙන් පසු අතුරුදන් වූ කැඩෙට් නිලධාරී මොහොමඩ් අනීක් ගැන තාමත් තොරතුරක් නෑ

එංගලන්තෙ පුහුණුවෙන් පසු අතුරුදන් වූ කැඩෙට් නිලධාරී මොහොමඩ් අනීක් ගැන තාමත් තොරතුරක් නෑ

පසුගියදා එක්සත් රාජධානියේ කීර්තිමත් රාජකීය හමුදා ඇකඩමියේ සැන්ඩ්හර්ස්ට් පුහුණුව නිම කර උපාධිය ලබා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඩෙට් නිලධාරි මොහොමඩ් අනීක්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා බලධාරීන්ට ලැබී නොමැති බව නිලධාරියෙක් පැවසීය.

එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට්හි රාජකීය හමුදා ඇකඩමියේ සති 44ක දැඩි පුහුණු වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් පසු මොහොමඩ් අනීක් බලලත් නිලධාරියකු ලෙස නිල වශයෙන් පත් කර තිබුණි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව කැඩෙට් නිලධාරි අනීක් මහතාට පෞද්ගලිකව සුබ පැතීමට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා ද සහභාගී වී ඇත.

අගෝස්තු මස මැද භාගයේදී කැඩෙට් නිළධාරී අනීක් අතුරුදන් වීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අගෝස්තු 9 වැනිදා ඇකඩමියෙන් ඉවත් වූ පසු ඔහුට ආපසු නිවසට පැමිණීමට නියමිතව තිබූ නමුත් ඔහු නියමිත ගුවන් ගමන මඟහැර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඔහුගේ නියමිත ගුවන් ගමන සඳහා ගුවන් තොටුපළ වෙත ප්‍රවාහන පහසුකම් ලබාදීමට ඉදිරිපත් වූ විට ඔහු තමා විසින්ම එය සපයා ගන්නා බව පවසමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, කොළඹ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ, නියමිත පරිදි එම නිලධාරියා ශ්‍රී ලංකාවට නොපැමිණි බව එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දැන සිටියද ඔහු සිටින ස්ථානය නොදන්නා බවයි.

විසිර යෑමේ පෙළපාලියෙන් පසු නියමිත පරිදි එම නිලධාරියා ශ්‍රී ලංකාවට නොපැමිණි බවට බ්‍රිතාන්‍ය බලධාරීන් දැනුවත් කර ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් කේ.ඒ.එන්. රසික කුමාර පැවසුවේ, අනීක් සිටින ස්ථානය පිළිබඳව තවමත් තොරතුරක් නොමැති බවයි.

අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන් එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවත්, ඔවුන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත් ඔහු පැවසීය.