හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50%කින් පහළට

හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50%කින් පහළට

හෙට (20) දිනයේ දී බස් රථ ධාවනය 50%ක් දක්වා අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ අද දිනයේ දී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු වුව ද, හෙට දින සහ ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වැනිදා දින ද බස් රථ ධාවනය 10%ත් 20% අතර අගයක් ගන්නා බවයි.

දුර ගමන් සේවා බස් රථ සේවාව විශේෂයෙන්ම අඩාල වන බවත් එම බස් රථවල සේවකයින් ගම්බද ප්‍රදේශවල ඡන්දය දැමීමේ කටයුතු සඳහා යාම හේතුවෙන් එලෙස බස් ධාවනය අඩාල විය හැකි බවත් හෙතෙම පැවසීය.

හෙට දිනයේ දී නිවෙස් කරා යන ආයෝජන කලාප ආදී ආයතනවල සේවය කරන පිරිස් හට අවශ්‍ය පරිදි ආසන වෙන් කරවා ගැනීමේ අවස්ථාව ද මේ වනවිට ඇති බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සෑම දිස්ත්‍රික්කයකට ම බස් රථ 750ක් පමණ මැතිවරණ කටයුතු සඳහා යොදවා තිබෙන බවත් හෙට සිට යොදවා ඇති බස් රථ තුළින් ද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කිරීමට රජයේ උපදෙස් මත ක්‍රියා කරන බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

යළිත් බස් රථ ධාවනය යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් දෙදිනක් පමණ ගත වේ යැයි ද හෙතෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළා.