නේපාලයේ බස් රථ දෙකක් ගඟකට පෙරළී 65 දෙනෙකු අතුරුදන්

නේපාලයේ බස් රථ දෙකක් ගඟකට පෙරළී 65 දෙනෙකු අතුරුදන්

මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක් ගිලා බැස නාය ගොස් එහි ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් ත්‍රිශූලි නමැති ගංගාවට පෙරලී සිදුවූ අනතුරකින් 65 දෙනෙකු අතුරුදන් වී තිබේ.

එලෙස අතුරුදහන් වූ මගීන් අතර ඉන්දියානුවන් 6 දෙනෙකු සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් සහ කත්මණ්ඩු සිට රවුටාහාට් හි ගවුර් දක්වා ධාවනය වෙමින් තිබූ බස්රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

එක් බස් රථයක මගින් 24 දෙනෙකු ගමන් කර ඇති අතර, අනෙක් බස් රථයේ මගීන් 41 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන් වේ.

අද (12) අලුයම 3.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පැවතීම හේතුවෙන් අතුරුදන් වූවන් මුදා ගැනීමේ කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිශූලි ගංගාවේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට තවදුරටත් බාධා එල්ල වී ඇති බවද සඳහන්.

නේපාල අග්‍රාමාත්‍යවරයා මෙම අනතුර සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, වහාම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නියෝග නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.