දරුවාගේ හෝඩුවාවෙන් සොයාගත් පතුරම් තොගය

දරුවාගේ හෝඩුවාවෙන් සොයාගත් පතුරම් තොගය

ගලෙන්බිදුණුවැව, අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබී ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතුරම් 17 ක්, පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10 ක් හා රිවෝලර් සදහා භාවිතා කරන පතුරම් 01 ක් සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ 06 වන වසරේ අධ්‍යාපනය ලබන දරුවකු විසින් ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතුරමක් පාසලට රැගෙන විත් ලග තබාගෙන සිටියදී එම සිසුවාගේ පංති බාර ගුරුවරයා විසින් ඒ පිලිබදව පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව, විදුහල්පතිවරයා ගලෙන්බිදුණුවැව පොලිසියට සිදුකළ දැනුම් දීම මත පොලිස් නිලධාරින් පිරිසක් දරැවාද කැටුව ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරික්ෂාවේදී මෙම පතුරම් මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ සගවා තිබියදී පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබුණි.

පොලිසිය විසින් එම දරැවාගේ නිවස පරික්ෂා කරන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ මව පමණි.

ඔහුගේ පියා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන බව පොලිසිය පැවසිය.