2025 වර්ෂයට අයවැය ඉදිරිපත් කිරීම පෙබරවාරි 17

2025 වර්ෂයට අයවැය ඉදිරිපත් කිරීම පෙබරවාරි 17

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය වී තිබෙනවා.

ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) පෙබරවාරි 17 වැනිදා සිදුකිරීමට නියමිත අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව පෙබරවාරි 25 ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30 – පෙ.ව 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වෙනවා.

එසේම ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 සහ මාර්තු 21 දෙදින හැර අනෙකුත් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන් කිරීමටද මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.