ගංවතුරෙන් ගම්මාන 9කට යන අඹන් ගඟේ පාලමට දැඩි හානි
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන නමයකට ගමන් කිරීමට ඇති එකම මාර්ගයේ අඹන් ගඟ හරහා පිහිටා ඇති අඹන පාලම පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා දැඩි ලෙස අවදානම් තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
දින හතරක පමණ කාලයක් එක දිගටම මෙම අඹන් ගඟ හරහා වැටී ඇති අඹන පාලම මතින් අඩි තිහකට වඩා ඉහළ ජල කඳක් බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගඟ හරහා මොරගාකන්ද ජලාශයට ගලා බස තිබේ.
කෙසේ වෙතත් මෙම ගම්මාන නවයක ජනතාව දින හතරක් තිස්සේ ගමට කොටුවී සිට 30 දින උදෑසන වන විට වතුර අඩුවීමත් සමඟ පාළම හරහා ගමන් කටයුතු සිදුකර තිබේ.
උදෑසන සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සිදු කිරීමට පැමිණ පරීක්ෂා කර බැලීමේදී අඹන් ගඟ හරහා ගම්මාන නමයකට ගමන් කිරීමට ඇති එකම පාලම තැනින් තැන කඩාගෙන ගොස් ගමනාගමනයට පවා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ඔවුහු පෙන්වා දෙති.
මීට පෙර අවස්ථා ගණනාවකදීම අඹන් ගඟ හරහා වැටී ඇති මෙම පාලම අවදානම් බවත් එය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද කිසිදු අවධානමක් යොමු නොවුණු බව ජනතාව පෙන්වා දෙයි.
මෙම මාර්ගයේ බස් රථ ගමනාගමනය කෘෂිකර්මාන්තයේ ජීවත් වන බහුතර ජනතාවගේ නිෂ්පාදන වෙළදපොලට රැගෙන යෑම ආදී සියලු ජන ජීවිත සඳහා අඹන් ගඟ හරහා වැටී ඇති පාලම උපයෝගී වන බව ඔවුහු පෙන්වා දෙති.
මේ වන විටත් අඹන් ගඟ හරහා වැටී ඇති මෙම පාලමේ පාලම් කටවල් රැසක් ලී දඬු සහ ජලයේ ගසාගෙන ආ කොටන් සිරවීමෙන් පාලමට හානි වීමේ ඉඩකඩ තවත් වැඩි වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.