ඔලිම්පික් කාන්තා බොක්සිං තරඟයක් අතරතුර සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම

ඔලිම්පික් කාන්තා බොක්සිං තරඟයක් අතරතුර සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම

2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ (01) දිනයේදී පැවති කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී හට ගත් සිදුවීමක් මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

එනම් කාන්තා බොක්සිං ඉසව්ව සඳහා ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි ප්‍රමාණයේ කාන්තාවක් ක්‍රීඩා කිරීම නිසාවෙන් ක්‍රීඩිකාවක් සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව සමඟ තරඟයේ නියැලීම ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙනි.

ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලීෆ් සමඟ තරඟ බිමට පිවිසුණු ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි එම තරඟය ආරම්භ වී තත්පර 46 ක් පමණක් ගෙවී තිබියදී තමාට තවදුරටත් තරඟ කිරීමට නොහැකි බව පවසමින් බොක්සිං වළල්ල මත දණින් වැටී හඬමින් එම තරඟයෙන් ඉවත්ව තිබුණා.

තරඟය ආරම්භ වීමෙන් පසුව ඉමානේ කලීෆ් කරීනිගෙ නිකට ප්‍රදේශයට එල්ල කළ පළමු පහරින්ම ඇගේ නිකට ආවරණය ගැලවී ගොස් තිබුණු අතර දෙවන පහරින් අනතුරුව ඇයගේ නිකටින් ලේ වැගිරී ගොස් තිබෙනවා.

කෙලීෆ් විසින් එල්ල කරන ලද තවත් පහර කිහිපයකින් පසුව කරීනි බොක්සිං වළලේ කෙළවරකට පැමිණ තවදුරටත් තමා තරඟ නොකරන බව පවසා හඬා වැටී තිබුණා.

එමෙන්ම, අනතුරුව ඇල්ජීරියානු ක්‍රීඩිකා ඉමානේ කලීෆ් එම තරඟයේ ජයග්‍රාහිකාව බවට නිවේදනය කිරීමෙන් පසුව කරීනි ඇයට අතට අද දීම පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“ මම බොකිස් වළලල්ලට ගියේ සටන් කිරීමේ අරමුණ හිතේ තියාගෙන. මම සටන අතහැරියේ නෑ. ඒත් ඉමානේ එල්ල කළ එක් පහරක් දරාගත නොහැකි තරමේ වේදනාවක් ඇති කළා. පසුව මම කිව්ව මට තවදුරටත් තරඟකරන්න බැහැ කියලා.

ක්‍රීඩාවේ වසර ගණනක අත්දැකීම් එක්ක මට කියන්න පුළුවන් මගේ නහයට ඉතාම වේදනාත්මට පහරක් එල්ල වුණා. මගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වෙලාවේ තරඟයෙන් ඉවත් වෙන එක වඩාත් හොඳයි කියලා මට හිතුණා.

ඉමානේට තවදුරටත් තරඟයේ ඉදිරියට යන්න පුළුවන් වේවි කියලා හිතනවා. මම මෙතනට ආවේ කා ගැනවත් විනිශ්චයන් ලබා දෙන්න නෙමෙයි” යනුවෙන් තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ කරීනී පවසා තිබුණා.

ස්ත්‍රී පුරුෂභාවය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයකින් අසමත් වීම හේතුවෙන් ඇල්ජීරියානු ක්‍රීඩිකා ඉමානේ කෙලීෆ් පසුගිය වසරේ කාන්තා බොක්සිං ලෝක ශූරතාවලියට සහභාවී වීම සඳහා සුදුසුකම් ලබා තිබුණේ නැහැ.

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය පවසා තිබුණේ එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් ඉමානේ කාන්තා ක්‍රීඩා තරඟයකට සහභාගී වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව තහවුරු වූ බවයි,

කෙසේවෙතත්, එම පරීක්ෂණ මොනවාද යන්න ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය විසින් මෙතෙක් අනාවරණය කර නැහැ.

ඔවුන් පවසා තිබුනේ ඉමීන් වැනි ක්‍රීඩිකාවක් කාන්තා තරඟයකට සහභාවී වීමෙන් එය අනෙකුත් ක්‍රීඩිකාවන් හට අසාධාරණක් විය හැකි බවයි.

මෙම සිද්ධිය සමඟින් ප්‍රසිද්ධ ගත්කතුවරියක් වන ජේ. කේ. රෝලින්ග්, එංගලන්තයේ හිටපු අගමැතිවරියක් ඇතුළු බොහෝ පිරිසක් කලීෆ් කාන්තා අංශය නියෝජනය කිරීම සම්බන්ධයෙන් එක්ස් පණිවිඩ නිකුත් කරමින් සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, ඉමානේ සංක්‍රාන්තික ලිංගිකයෙක් හෝ ජීව විද්‍යාත්මකව පිරිමි පුද්ගලයෙක් නොවන බවත්, ඇයගේ ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් ඉමානේ කලීෆ් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම විශේෂත්වයක්.

ඊයේ පැවති තරඟයෙන් කාන්තා බොක්සිං අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කලීෆ්, එම වටයේදී හංගේරියා ක්‍රීඩිකාවක් සමග තරග වැදීමට නියමිතයි.