විදුලි සේවකයන් ඉල්ලන බෝනස් දීමනාව ලබා දෙන්නේ නෑ – විදුලි ඉංජිනේරු අධ්යක්ෂ ජනරාල්
වසර පහක් තුළ ජනතාවට දැනෙන ලෙස විදුලිබිල අඩු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් පොරොන්දුව අනිවාර්යයෙන් ඉටු කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශයේ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂන් මහතා පවසනවා.
මේ අතර විදුලිබල මණ්ඩල සේවකයින් ඉල්ලා සිටි ප්‍රසාද දීමනාව ලබා දීමට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බව එහි අධ්යක්ෂ මණ්ඩලය අවධාරණය කරනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළා.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ, පැවති ආණ්ඩු යටතේ වසර දෙකක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව නොලැබුණද, වර්තමානයේ තම වෘත්තීය සමිතිය නියෝජනය කරන ආණ්ඩුවක් බලයට පත්ව ඇති බැවින් ප්‍රසාද දීමනාව අනිවාර්යයෙන්ම සේවකයන්ට ලබාදිය යුතු බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට මේවන විටත් එහි අධ්යක්ෂ මණ්ඩලය අවසන් තීරණයක් ගෙන ඇති බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී විශාල ලාභයක් ඉපයුවද ඉන් රුපියල් බිලියන 112ක්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන වෙත ණය ආපසු ගෙවීම් ලෙස වැයකර තිබෙනවා.
එමෙන්ම 2024 වසරේ විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරි වූ රුපියල් බිලියන 41ක මේ වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට යෙදවූ බවද ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය අවධාරණය කරනු ලබනවා.
එබැවින් පවත්නා තත්ත්වය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාවක් ලබාදිය නොහැකි බවට එහි අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා තහවුරු කළා.