තද සුළඟින් අම්බලන්ගොඩ බහුදින ධීවර යාත්‍රා විස්සකට දැඩි හානි

තද සුළඟින් අම්බලන්ගොඩ බහුදින ධීවර යාත්‍රා විස්සකට දැඩි හානි

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාත්‍රා වල හිමිකරුවන් කියති.

හානියෙන් තමන්ට රුපියල් කෝටියක පමණ අලාභ හානියක් සිදුව ඇති බවත් එම හානිවූ ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවද ඔවුහු පවසති.

මෙලෙස දැඩි අලාභහානිවූ ධීවර යාත්‍රා සියල්ලම අලුත්වැඩියා කිරීමට ධීවර වරායෙන් ගොඩබිමට ගත යුතු බවත් ඒ සදහා ද විශාල මුදලක් වැය වන බවත් එම ධීවර යාතාවල හිමිකරුවෝ කියති.

හමා ගිය දැඩි සුළගින් හා මුහුදේ විශාල රළ පහරවල් වරාය තුළට ඇතුලුවීමෙන් මේ විනාශය තමන්ට සිදුවූ බවද ඔවුහු කියති.

මේ ධීවර වරායේ ධාරිතාව කුඩා බැවින් එහි නවතා තිබූ බහු දින ධීවර යාතා සුළගින් හා රළ පහර වැදීමෙන් එකිනෙක ගැටීම මේ විනාශයට ප්‍රධානතම හේතුව බවද ධීවර යාත්‍රා හිමියෝ පවසති.

අම්බලන්ගොඩ ධීවර වරායට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය තවමත් පහව නොගොස් ඇති බවත් ඒ නිසා තවත් ධීවර යාත්‍රා එකිනෙක් ගැටි දැඩි අලාභහානි සිදුවිය හැකි බවත් ඔවුහු බිය පල කරති.