වරායේ කෝටි 26ක පාඩුවක් ගැන ඇමති බිමල්ට පැමිණිල්ලක්

වරායේ කෝටි 26ක පාඩුවක් ගැන ඇමති බිමල්ට පැමිණිල්ලක්

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට ලබාදී අනතුරකට ලක්කළේ යැයි කියන සිද්ධියේ පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාඩුව අයකරගන්නා ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා, ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාට අද (15) පැමිණිල්ලක් බාර දී තිබේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ සංචාරයකට සහභාගි වී සිටීම නිසා එම පැමිණිල්ල ඒ මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක් භාරගත් බවයි වාර්තා වන්නේ.

වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ පුත්‍රයා සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාල නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාව සපයා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් කළ බව ද මහවත්ත මහතා පැවසීය.

ජපානයෙන් ප්‍රදානය කළ නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් 2020 වසරේ පෞද්ගලික විනෝද චාරිකාවක නිතරව තිබියදී අනතුරකට ලක්වීමෙන් රුපියල් ලක්ෂ 200 කට අධික පාඩුවක් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා රාජ්‍ය දේපළ අවභාවිතකිරී, උපදෙස් දීම සහ අලාභහානි කිරීම යන චෝදනාවට නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහවත්ත මහතා එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

මෙම යාත්‍රාව අලුත්වැඩියා කිරීමට වැයවූයේ යැයි කියන රුපියල් කෝටි දෙකට අධික මුදල ද මෙයට වගකිවයුතු පිරිසගෙන් අයකරගත යුතු බව කී මහවත්ත මහතා වරාය අධිකාරිය සතු යාත්‍රාවක් නීති විරෝධී ලෙස පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගැනීම, බලය පාවිච්චි කර අනතුර සැඟවීම සහ අනතුරෙන් වූ හානිය යථා තත්වයට පත්කිරීමට විශාල මුදලක් වැය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙහිදී ගණක හේමචන්ද්‍ර මහතාට එල්ල වන බව ද සඳහන් කළේය.

දූෂණයන්ට විරෝධය දැක්වූ වර්තමාන ආණ්ඩුව මෙවැනි චෝදනාවන් ඇති පුද්ගලයන් වරාය වැනි ආර්ථික මර්මස්ථානයක ප්‍රධානම තනතුරට පත්කිරීම පිළිබඳව ද අවදානය යොමු කළ යුතු බව කී මහවත්ත මහතා මෙවැනි පත්කිරීම් ද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට ඇතුළත් කර ක්ලීන් කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.