බත්තරමුල්ලට දුම්රිය මාර්ගයක්

බත්තරමුල්ලට දුම්රිය මාර්ගයක්

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය නව නගරයක් ලෙස පරිවර්තනීය වෙනසකට ලක්කිරීමේ පිඹුරුපත් සකසා අවසන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ, පසුගිය 28 වන දා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය.

මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය නව නගරයක් බවට පත්කිරීමටත්, නව නගරයක පහසුකම් ජනතාවට ලබාදීමටත්, අලුත් ආකර්ෂණයකින් යුතු ප්‍රදේශයක් ලෙස දියුණු කිරීමටත් අවශ්‍ය මූලික කෙටුම්පතක් මේ වන විටත් සකස් කර අවසන් බවද සඳහන් කළේය.

මේ හරහා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය තුළ සිදුවන පරිවර්තනය තුළින් තදාසන්න ප්‍රදේශද ආර්ථික, සමාජයීය පරිවර්තනයකට ලක් වෙයි.

කොළොන්නාව පිරිපහදුව වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන දුම්රිය මාර්ගය බත්තරමුල්ල නගරය සමඟ සම්බන්ධ කොට දුම්රිය මගී ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්කිරීම ද සිදුකෙරෙයි.

ප්‍රධාන පරිපාලන ආයතන රැසක් පිහිටා ඇති බත්තරමුල්ල නගරයට කඩිනමින් ළගා වීමේ හැකියාව ලැබෙන අතර කොළඹ තදබදයට ද මේ හරහා විසදුම් ලැබේ.

මෙම අවස්ථාවට කොළොන්නාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, මහජන එක්සත් පෙරමුණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී වී. ප්‍රභාෂීණී මහත්මිය ඇතුළු හිටපු මහජන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

Share This