බංග්ලාදේශයේ විරෝධතා දරුණු අතට – 39ක් මරුට, රාජ්‍ය රූපවාහිනි ගොඩනැගිල්ලටත් ගිනි තියයි

බංග්ලාදේශයේ විරෝධතා දරුණු අතට – 39ක් මරුට, රාජ්‍ය රූපවාහිනි ගොඩනැගිල්ලටත් ගිනි තියයි

බංග්ලාදේශයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුම් හේතුවෙන් මියගිය ගණන 39 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, ගැටුම්වලින් පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය බදාදා සිට එරට විරෝධතා ආරම්භ කර තිබුණි.

විරෝධතා සදහා සිසුන් දහස් ගණනක් සහභාගී වී සිටින අතර තත්ත්වය පාලනය කිරීමට බංග්ලාදේශය අන්තර්ජාල සේවා පවා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

බංග්ලාදේශ රජයේ රැකියා කෝටාවෙන් තමන්ට හිතවත් කණ්ඩායම් වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් රැකියා ලබාදීමට රජය කටයුතු කරන බවත් තාවකාලිකව අත්හිටුවා ඇති රැකියා කෝටාව සම්පුර්ණයෙන් ඉවත් කර ගන්නා ලෙසයි, විරෝධතාකරුවන් රජයට බලකර සිටින්නේ.

මේ අතර රජයට එරෙහිව විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී පිරිස් ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගොඩනැගිල්ලට ගිනි තබා තිබේ.

මේ හේතුවෙන් එහි විකාශන නතර කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කලහකාරී විරෝධතාකරුවන් ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූ බව පැවැසෙයි.

ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු වී ඇති අතර ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි, වාර්තා වන්නේ.

මේ වන විට විරෝධතා ප්‍රචන්ඩ මුහුණවරක් ගෙන ඇති අතර, බංග්ලාදේශ පොලිසිය කදුළු ගෑස් සහ රබර් උණ්ඩ යොදාගෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.