බංග්ලාදේශයට අන්තර්වාර පාලනයක්

බංග්ලාදේශයට අන්තර්වාර පාලනයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව බංග්ලාදේශ ජනාධිපතිවරයා නිවේදනය කරනවා.

මේ අතර සිරගතකර සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය බෙගම් ඛලීඩා ෂියා නිදහස් කිරීමටයි ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර ඇත්තේ.

බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු අතර ජාතිය ඇමතූ එරට හමුදා ප්‍රධානියා බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ඊයේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රටපුරා ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා දින නියමයක් නොමැතිව බංග්ලාදේශයට ඇඳිරි නීතිය ද පනවා තිබෙනවා.

එරට විරෝධතාකරුවන් අගමැති මන්දිරය හා බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ද කඩා වැදුණු අතර කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් අගමැති මන්දිරයේ බඩු බාහිරාදිය නිවෙස් වෙත රැගෙන යන ආකාරය දැකගත හැකිවිය..

ඔවුන් අගමැති මන්දිරයට කඩාවැදී රාජ්‍ය දේපල වලට ද හානි සිදුකර තිබේ.

ශෙයික් හසීනාගේ ඡායාරූප විනාශ කිරීමටයි කටයුතු කළේ.

එමෙන්ම එරට පාර්ලිමේන්තුවට ද කඩාවැදුණු විරෝධතාකරුවන් සභා ගර්භයේ මේස මත නැග කලහකාරීව හැසිරෙන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළා.

මේ අතර ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපල ද තාවකාලිකව වසාදමා තිබෙනවා.

හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයින් හා සිවිල් සංවිධාන ක්‍රියාත්මක කළ උද්ඝෝෂණ හා විරෝධතා මධ්‍යයේයි අගමැතිනිය ඉල්ලා අස්වුණේ.

එරට හමුදා ප්‍රධානියා ජාතිය අමතමින් සඳහන් කර ඇත්තේ විනාඩි 45ක් ඇතුලත අගමැති ෂීක් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

අගමැතිනිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇගේ බාල සොහොයුරිය වන ෂෙයික් රෙහානා සමඟ ඊයේ සවස 2:30ට පමණ ඩකා නුවරින් පිටත්ව හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ.

පසුව ඉන්දීය හමුදා කදවුරක සිට තවත් නැවතුමක් දක්වා ඇය අද ගමන් කර ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.