බන්දුල අද සී.අයි.ඩී යට

බන්දුල අද සී.අයි.ඩී යට

සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශයේ, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ අද (03) දිනයේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම්දී තිබේ.

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු බදු ආදායම සහ මහජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගන්නා බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

සීනි බදු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මෙසේ රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩු කර ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2020 ඔක්තෝබර් මස 13 වැනිදාය.

එම කාල සීමාවේදී බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ලෙස කටයුතු කර ඇති බැවින් ඊට අදාලව ඔහුට පැවරී තිබූ බලතල හා කර්තව්‍යයන්ට අදාලව මෙලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බව එම කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම සිද්ධියට අදාළව යම් ලේඛන පවතින්නේ නම් ඒවාද රැගෙන එන ලෙස එම කාර්යාංශය ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.

ගුණවර්ධන මහතාට මෙම දැනුම් දීම කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.

COMMENTS