ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් 34 කට අයත් ඡන්ද පත්‍රිකා පැහැරගෙන

ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් 34 කට අයත් ඡන්ද පත්‍රිකා පැහැරගෙන

කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් 34 කට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගත් පුද්ගලයෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාසලින්ගම් මනෝ හරන් නැමති 37 හැවිරිදි අම්බාල් නගර්, ශාන්ත පුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි, පොලිසිය සඳහන් කළේ.

කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදෙන්නෙකු ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ රාජකාරියේ නියැලී සිටියදී සැකකරුගේ මවට සහ නැගණියට ඡන්ද පත්‍රිකා ලැබී ඇතිමුත් තමාට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු බව පවසා ලියුම් බෙදන්නා සමග ආරවුලක් ඇති කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව සැකකරු ලියුම් බෙදන්නාට තර්ජනය කර ඔහු සතුව තිබූ පවුල් 34 කට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගෙන පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.

කිලිනොච්චිය පොලිසියේ නිලධාරීන්ට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ නිවස පිටුපස සඟවා තිබූ ඡන්ද පත්‍රිකා තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.