අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී ගිනි අවියක් පත්තුවෙයි

අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී ගිනි අවියක් පත්තුවෙයි

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මියගේ විනිසුරු නිල මැදිරිය තුළ ඊයේ (04) පස්වරුවේ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

එලෙස එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත්තේ, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව, නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබූ ගිනි අවියක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මහේස්ත්‍රාත්වරියගේ අත්සන් යෙදීමෙන් අනතුරුව මුද්‍රා තැබූ අවස්ථාවේදී ය.

අධිකරණ සේවිකාවන් දෙදෙනෙකු විසින් අදාළ මුද්‍රා තැබීම සිදු කරන අවස්ථාවේ ගිනි අවිය මෙලෙස ක්‍රියාත්මක වී ඇති බව සඳහන් කරන අනුරාධපුර මූලස්ථාන පොලිසිය, ගිනි අවිය පත්තු වීමට සුළු මොහොතකට පෙර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මිය සිය විනිසුරු නිල මැදිරියෙන් පිටව ගොස් ඇති බව ද සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද අනුරාධපුර පොලිසිය කියයි.

අධිකරණය හමුවේ පවතින යම් කිසි නඩුවකට අදාළව නඩු භාණ්ඩයක් ලෙස නම් කරන, කුමන හෝ වර්ගයේ ගිනි අවියක් දැඩි පරීක්ෂාවට ලක් කර එම ගිනි අවිය තුළ ජීව උණ්ඩ තිබේ දැයි යන්න දැඩි ලෙස පරීක්ෂා කොට ඉන් අනතුරුව අධිකරණයට භාර දීම පොලිසියේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් බව අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ උසස් අධිකරණ නිලධාරියෙකු සඳහන් කළේ ය.

එවැනි පසුබිමක් තුළ මෙම ගිනි අවිය අදාළ පොලිසිය මගින් නඩු භාණ්ඩයක් ලෙස නම් කොට අධිකරණයට භාර දී ඇත්තේ, එම ගිනි අවිය අභ්‍යන්තරයේ ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය තිබියදී බවත් එය බරපතළ ගැටලුවක් බවත් එම අධිකරණ ප්‍රකාශකයා තවදුරටත් කීය.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ විශේෂ නියෝගයක් මත උසස් පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ඊයේ පස්වරුවේ එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර, අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ, අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව මෙම ගිනි අවිය අධිකරණයට භාරදී තිබූ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ ඊට සම්බන්ධ සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් නොපමාව ඊයේ පස්වරුවේ ම විශේෂ විමර්ශනයක් ඇරැඹූ බවයි.

ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය අන්තර්ගතව ඇති කිසිදු ගිනි අවියක් අධිකරණයට භාර නොදිය යුතු බවට නියෝග පනවා තිබියදී මෙම ගිනි අවිය ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය සහිතව අධිකරණයට භාර දුන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුසහගත බවද එම උසස් පොලිස් නිලධාරියා පවසා සිටියේය.

මේ අතර අදාළ සිද්ධිය වන අවස්ථාවේදී ගිනි අවියට මුද්‍රා තබමින් සිටි අධිකරණ සේවිකාවන් දෙදෙනා දැඩි කම්පනයකට පත්ව සිටි බව පවසන අනුරාධපුර පොලිසිය, ගිනි අවිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්තුමිය නිල මැදිරිය තුළ සිටියේ නම් යම් අනතුරක් ඇති වීමේ දැඩි අවදානමක් තිබූ බවද වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ආනන්ද – අනුරාධපුර