පවුල් ලක්ෂ 8කට අස්වැසුම ප්‍රතිලාභ අද බැංකුවලට – හෙට සිට ජනතාවට

පවුල් ලක්ෂ 8කට අස්වැසුම ප්‍රතිලාභ අද බැංකුවලට – හෙට සිට ජනතාවට

අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ 15ක් අතරින් පවුල් ලක්ෂ 8ක් සඳහා පළමු වාරිකය අද (28) දිනයේ බැංකුගත කරන බවත්, එම මුදල් හෙට (29) හෝ අනිද්දා (30) දිනවල සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙන බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙම ප්‍රතිලාභය ජූලි මාසයට අදාළව ගෙවනු ලබන බවත් සාවද්‍ය තොරතුරු මත ප්‍රතිලාභ ලබා ගත් අය ඇතොත් ඔවුන්ට නීති මඟින් කටයුතු කරන බවත් ඔවුන්ගේ ප්‍රතිලාභ නැවත රජයට අයකර ගනු ලබන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අනුරාධපුරයේ දී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

අස්වැසුම යටතේ පවුල් ලක්ෂ 20කට ප්‍රතිලාභ දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් මේ වන විට අභියාචනා ලක්ෂ 10ක් ඉදිරිපත් ව ඇති බවත්, පැවසු ඒ මහතා, විරෝධතා 120,000ක් ගොනු කර ඇති බවත් කීවේය.

විරෝධතා සම්බන්ධයෙන් සමාලෝචනය ආරම්භ වී ඇතැයි පවසන සේමසිංහ මහතා එම කටයුතු අවසන් වූ වහාම අදාළ ගෙවීම් කරන බවද කීවේය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

මේ සම්බන්ධයෙන් හඳුනා ගත් ගැටලු කිහිපයක් තිබෙනවා. එකම හැදුනුම්පත් අංකයට අයදුම්පත් කිහිපයක් ලැබී තිබෙනවා. ඒ වගේම බැංකු ගිණුම්වල දෝෂ, බැංකු ශාඛා අංක තහවුරු කර ගැනීමට තිබෙනවා. මේ වන විට මේ කටයුතු සිදු වෙමින් පවතිනවා. තව දුරටත් මේ ගෙවීම් කටයුතු ප්‍රමාද කරන්න බැරි නිසා රජය තීන්දු කළා. අධියර වශයෙන් තහවුරු කර ගැනීම සිදු වුනාට පස්සේ මේ ගෙවීම ආරම්භ කරන්න. ඒ අනුව තමයි තෝරා ගත්ත ලක්ෂ 15න් පළමු පවුල් ලක්ෂ 8කට මුදල් ප්‍රතිලාභ හෙට බැංකු ගත කිරීම සිදු කරන්නේ. ඉන් පස්සේ, අඟහරුවාදා හෝ බදාදා සිට ප්‍රතිලාභීන් හට ඔවුන් ලබා දී ඇති බැංකු ගිණුමෙන් එම මුදල් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව තහවුරු කර ගැනීම සිදු වූ වහාම අපි ඉදිරි කණ්ඩායම් සඳහා ද ගෙවීම් සිදු කරන වැඩකට යුතු සිදු කරනවා. එම මුදල් මේ වෙන කොට වෙන් කරලා තිබෙනවා. ඒ වගේම අභියාචනා සහ විරෝධතා සමීක්ෂණය අවසන් වූ වහාම, ඒ අයටද ගෙවීම් කටයුතු සිදු කෙරෙනවා.

මේ ගෙවීම් සිද්ධ වෙන්නේ ජූලි මාසයට අදාළවයි, විශේෂයෙන් බොහෝ තැන්වල විවිධ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වුණා, මේ අවුරුද්දෙ ජූනි දක්වා පැරැණි ක්‍රමයට සුබසාධක දීමනා ගෙවා තිබෙන බවත්, අලුත් ගෙවීම් සිදු වන්නේ මාස කීපයක හිඩැසක් ඇතිව කියලා, එහෙම වෙන්නේ නැහැ. ජූලි මාසයේ සිටම මේ ගෙවීම් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් සමඟම අපි මේ වන විට අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව, වකුගඩු දීමනාව, එවගේම ආබාධිත දීමනාව සඳහා අවශ්‍ය මුදල් සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දීලා මේ වන විටත් ඒ ගෙවීම් සිදු වෙමින් පවතිනවා.

තවමත් බැංකු ගිණුම් ආරම්භ කර නැති අස්වැසුම ප්‍රතිලාභීන්, බැංකු ගිණුම්වල තොරතුරු ලබා දීලා නැති ප්‍රතිලාභීන්, කඩිනමින් අවශ්‍ය වැඩ කටයුතු සම්පූර්ණ කළයුතු වෙනවා. මෙහි ඉතා වැදගත් කාරණය තමයි වසර 28කට පස්සේ තමයි ක්‍රමානුකූලව තෝරා ගෙන කිසිදු බාහිර මැදිහත්වීමක් නොමැතිව විනිවිද භාවයකින් යුක්තව මෙම ප්‍රතිලාභ ලබා දීම සිද්ධ කෙරෙන්නේ, ක්‍රමවේදය තුල යම් යම් අඩු-පාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒවත් අපි මේ වන විට සකස් කරමින් යනවා. ඒ වගේම යම් කිසි ප්‍රතිලාභියෙක් වැරදි තොරතුරු දීලා ප්‍රතිලාභ ලබා ගන්න කටයුතු කර තිබුණොත්, ඒ අයට විරුද්ධව නීති මගින් කටයුතු සිදු කරන්නත්, වැරදි තොරතුරු දීලා ප්‍රතිලාභ අරගෙන තිබෙනවා නම් ඒ ලබා ගත්ත ප්‍රතිලාභය නැවත රජයට අය කර ගන්නත් කටයුතු කර තිබෙනවා.”

Share This