අසර්බයිජාන ගුවන් යානය කඩා වැටීම ගැන පුටින් සමාව ඉල්ලයි
අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය කඩා වැටුණේ රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බවට විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී යානය අනතුරට පත් වී කඩා වැටුණේ කසක්ස්තානයට ඉහළින් පියාසර කරද්දීය.
අංක 8432 එම යානය, අසර්බයිජානයේ බාකූ අගනුවර සිට දකුණු දිග චෙච්නියාවේ ග්රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබුණේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 67 දෙනකු සමඟය.
රුසියන් ගුවන් ආරක්ෂක මිසයිලය යානයට වැදීමත් සමඟ නියමුවන්ට යානය පාලනය කර ගැනීමට නොහැකි වුණු අතර, එය හදිසි ගොඩබෑමක් ලක් කෙරුණි. එයින් යානයට දැඩි හානි සිදුවිය.
යානයේ සිටි 29 දෙනකුගේ දිවි බේරා ගැනීමට යානයේ නියමුවන් සමත් වූයේ ඔවුන්ගේ ජීවිත පූජා කරමිනි.
අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව් පසුගිය දා ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණි.
දහවල් 12 වෙද්දී, අසර්බයිජාන ජාතික ධජ අඩකුඹු කරමින්, මුළු රටම මිනිත්තුවක් නිහඬ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියානු හමුදා, යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, එය යුක්රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව මේ වනවිට සිදුකළ විමර්ශනවලින් තරහුරු වී ඇත.
පුටින්ට අමතරව, රුසියන් රජය මෙන්ම රැසියන් හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කර ඇත.
අසර්බයිජාන මගී යානය කඩා වැටුණේ රුසියාව වැරදීමකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යැයි පළමුවෙන් අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශය.