‘කතානායක ජපන් සරසවියේ ඉගෙනුම ලබා නෑ – වසේඩා සරසවිය දැනුම් දුන්නා’ – තලතා

‘කතානායක ජපන් සරසවියේ ඉගෙනුම ලබා නෑ – වසේඩා සරසවිය දැනුම් දුන්නා’ – තලතා

කතානායක අශෝක සපුමල් රන්වල මහතා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු නොවන බවත් එවැනි පුද්ගලයෙකු එහි අධ්‍යාපනය ලබා නොමැති බවත් එම විශ්වවිද්‍යාලය දැනුම් දී ඇතැයි හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (10) පැවැසුවාය.

කතානායක ධූරයේ දිවුරුම් දීමට පෙර රන්වල මහතා වසේඩා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු යැයි පාර්ලිමේන්තුවට අසත්‍ය තොරතුරු ලබා දී තිබෙන බව කී හිටපු ඇමතිවරිය ඒ අනුව ඔහු වරද පිළිගෙන කතානායක ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සඳහන් කළාය.

දසවන පාර්ලිමේන්තුවේ 22 වන කතානායකවරයා ආචාර්ය අශෝක සපුමල් රන්වල යැයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දක්වා තිබූ නමුත් අද වන විට එහි ‘කතානායක අශෝක සපුමල් රන්වල’ වශයෙන් සංශෝධනය කර තිබෙන බවද ඇය කීවාය.

ජාතික ජන බලවේගය මහ මැතිවරණයට පෙර ජනතාවට බෙදාදුන් අත් පත්‍රිකාවල සහ අනෙකුත් ලේඛනවල ‘ආචාර්ය අශෝක සපුමල් රන්වල‘ වශයෙන් රන්වල මහතා හඳුන්වා දී තිබූ බව ද හිටපු ඇමතිවරිය ප්‍රකාශ කළාය.

කොළඹ මල්පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී තලතා අතුකෝරළ මහත්මිය මේ බව පැවැසුවාය.

අගවිනිසුරු, පොලිස්පති, විගණකාධිපති ඇතුළු රටේ ඉහළ නිලධාරීන් පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්, තානාපතිවරුන් පත්කරන උසස් නිලතල කාරක සභාවේ සභාපතිත්වය කතානායකවරයා දරන බව ද ඇය කීවාය.

පාර්ලිමේන්තුව හා රට නොමඟ යවා ඇති පුද්ගලයෙකු කතානායක ධූරයේ රැඳී සිටීමෙන් රට අනතුරකට මුහුණ දී තිබෙන බව කී හිටපු ඇමතිවරිය කතානායක ඒ අනුව කතානායක පදවිය තවදුරටත් හෑල්ලු කිරීමට ඉඩ දිය නොහැකි බව සඳහන් කළාය.

ආණ්ඩුවේ සිටින අනෙකුත් ආචාර්යවරු හා මහාචාර්යවරු සත්‍ය වශයෙන් එම උපාධි ලබාගෙන තිබේදැයි සැකයක් ඇති වන බව ද අතුකෝරළ මහත්මිය පැවසුවාය.