ආසියානු ශූරයින් දිවයිනට

ආසියානු ශූරයින් දිවයිනට

03 වන ආසියානු විසි කිරීමේ ශූරතා තරගාවලියට (2024 Asian Throwing Championships) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (17) අලුයම දිවයිනට පැමිණියේය.

මොවුන් සියලුදෙනා අද අලුයම 12.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

දකුණු කොරියාවේ මොක්පෝ (Mokpo) නුවර ඉකුත් 14 දින සිට 15 දින දක්වා ආසියානු රටවල් 20 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්විය.

මෙම තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්ව සදහා සහභාගී වූ 21 හැවිරිදි , ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන රුමේෂ් තරංග මීටර් 85.45 ක් දුරකට හෙල්ල විසි කරමින් ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම මෙම තරගාවලියේ වාර්තාවක් තබන්නට ද සමත් විය.

මෙම විසි කිරීමේ දුර ඔලිම්පික් පරිසාදන මට්ටමට සෙන්ටි මීටර් 05 ක් අඩු වෙන් තිබූ අතර, මෙම විසි කිරීමත් සමග රුමේෂ් තරංග ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 09 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී තිබේ.

මීට අමතරව මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ දිල්හානි ලේකම්ගේ සහ සුමේධ රණසිංහ ද හෙල්ල විසි කිරීමේ ඉසව් සදහා ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.