උඩු ගුවනේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකට හිරිහැර කළ මගියෙක් අත්අඩංගුවට

උඩු ගුවනේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකට හිරිහැර කළ මගියෙක් අත්අඩංගුවට

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳ එම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (30) දින ආරම්භ කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය අද (30) අලුයම 02.00 ට පමණ කුවේට් රාජ්‍යයේ කුවේට් සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වී තිබේ.

එම ගුවන් යානය තුළ හොරණ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම සදහා අංක 11 ජී නැමැති ආසනයෙහි අසුන් ගෙන සිට තිබේ.

මෙම ගුවන් යානය පිටත් වී පැය 03.30 කට පසුව එහි ගමන් ගත් ගුවන් මගීන්ට ආහාරපාන ලබා දී , ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කර තිබේ.

එහිදී මෙම ගුවන් මගියාගේ ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත් කර ගැනීමට සූදානම් වනවිට ගුවන් සේවිකාවගේ වම් අත මැණික් කටුව සහ වැලමිට අතර ප්‍රදේශයෙන් තදින් අල්ලා පරුෂ වචනයෙන් ද බැණ තිබේ.

මෙම ගුවන් සේවිකාව මේ පිළිබඳ වහාම ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඔවුන් ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.

ඒ අනුව ගුවන් නියමුවා මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර මෙම ගුවන් යානය අද 30 දින උදෑසන 08.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් මගියාට මද වේලාවකට පසුව ගුවන් තොටුපොළ පොලිසිය තුළ දී හෘදයාබාධයක් වැළදීම නිසා මේ වනවිට මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එලෙස හිංසනයට ලක් වූ ගුවන් සේවිකාව ද මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සදහා මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත පොලිසිය විසින් ඉදිරිපත් කර තිබේ.

මේ අතර මෙම ගුවන් මගියාගේ බිරිඳ ප්‍රකාශයක් සිදු කරමින් තම සැමියාට ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් පහර දී ඇති බවට චෝදනාවක් කළාය.

තම සැමියා වසර 14ක කාලයක් කුවේට් රාජ්‍යයේ කොරියානු නූඩ්ල්ස් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කරමින් සිටින බවත් ඔහු හෘදයාබාධයකින් පෙළෙන නිසා මෙසේ වරින්වර කොළඹට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායකගේ අධීක්ෂණය මත කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් , පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු සහ කාන්තා පොලිස් සැරයන් 2788 හේරත් යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .

මෙය ගුවන් අවකාශය තුළ සිදු වූ සිදුවීමක් බැවින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප දීම නීතිපතිවරයා විසින් තීරණය කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.