සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ බිරිඳ දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ බිරිඳ දිවයිනට රැගෙන එයි

විදෙස් රටක සැඟව සිට අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ බිරිඳ මෙරටට රැගෙන විත් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සදහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඔවුන් දිවයිනට රැගෙන ආ බවයි.

පොලිස් ස්ථාන කිහිපයක් මගින් විමර්ශනය කරනු ලබන වෙඩි තැබීම් වලට තැත් කිරීම්, ගිනිඅවි ළඟතබා ගැනීම්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ගණනාවකට අදාළව මෙම සැකකරු අවශ්‍යව සිටි බවය.

සැකකරු විදෙස් ගතව සිටියදී එරට පොලීසියේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොලීසිය විසින් කරන ලද ඉල්ලීම මත ඔවුන් මෙරටට පිටවහල් කිරීමෙන් අනතුරුව මොවුන් දෙපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුෂ්පරාජ් විග්නේෂ්වරම් නම් 30 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වූ 25 හැවිරිදි කාන්තාවක්ය.

සැකකරුට පසුගිය 2017 වසරේදී කොටහේන පොලිස් වසමේදී ගංජා සන්තකයේ තබා ගැනීම, 2018 වසරේදී මෙරට නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනිඅවියක් ලඟ තබා ගැනීම, 2022 වසරේ වෙරළබඩ පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට තැත් කිරීම මෙන්ම කොටහේන පොලිස් වසමේදී අවස්ථා කිහිපයකදී හෙරොයින් සන්තකයේ තබා ගැනීම යන කාරණා සඳහා චෝදනා එල්ල වී තිබුණි.

එමෙන්ම සැකකරු මීට පෙර මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කිරීමට අදාළව හා ගිනි අවි සන්තකයේ තබා ගැනීම යන වැරදි වලට අදාළව අත්අඩංගුවට ද පත්වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු සහ ඔහුගේ බිරිඳ අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.