කළුතර ප්‍රා:සභාවේ හිටපු උප සභාපති ඇතුළු 7ක් අත්අඩංගුවට

කළුතර ප්‍රා:සභාවේ හිටපු උප සභාපති ඇතුළු 7ක් අත්අඩංගුවට

පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය රජයන් ගණනාවකදී අමාත්‍ය දුර දරා ඇති හිටපු අමාත්‍යවරයෙකුගේ එවකට සම්බන්ධීකරණ ලේකම් වරයෙකු මෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වරයෙකු බව පොලිසිය කීය.

කළුතර ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අතර නාගස් හන්දිය ගාලුපාරේ පෙරේදා දහවල් ගැටුමක් සිදුව ඇති අතර, එය සමතයකට පත් කිරීමට යාමෙන් පසු සැකකාර හිටපු අමාත්‍ය ලේකම් වරයා ඇතුළු පිරිස පහරදීමට මැදිහත්ව ඇති බව වාර්තා වේ.

පහර කෑමක් හේතුවෙන් 10 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

සැකකාර හිටපු උප සභාපතිවරයා ද පහරදීමක් සිදුව ඇති බව සඳහන් කරමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති අතර, ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.

අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන් හය දෙනා පොලිස් ඇප මත මුදා හැරී ඇති බවද සදහන් වේ.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වයි.