කෝටි 3ක විස්කි බෝතල් ඇතුළු භාණ්ඩ තොගයක් සමග 6දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

කෝටි 3ක විස්කි බෝතල් ඇතුළු භාණ්ඩ තොගයක් සමග 6දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි , එනසාල් , දුරකථන , ඇදුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වෙන් වූ රක්ත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතර කොළඹ – 13 , කොළඹ – 15 , කොළඹ හෙට්ටිවීදිය , හැටන් – කොටගල , වත්තල හේකිත්ත යන ප්‍රදේශ වල පදිංචිකරුවන් සහ ඉන්දීය ජාතික එක් ගුවන් මගියෙකු ද වූහ .

මොවුන් අද (11) අලුයම 04.30 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විවිධ වර්ග වල විස්කි සහ වොඩ්කා බෝතල් 159 ක් , මෙරටට ආනයනය තහනම් කර ඇති එනසාල් කිලෝ ග්‍රෑම් 05 ක් , චොක්ලට් , ස්වර්ණාභරණ ලෙස සකස් කළ ආභරණ තොගයක් , සුදු යකඩ මුදු , මාළ තොගයක් , ස්ථාවර දුරකථන සහ කමීස තොගයක් ද විය .

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .