ලක්ෂ 60 ක දේපළ සොරාගත් සංචාරක මග පෙන්වන්නෙක් අත්අඩංගුවට

ලක්ෂ 60 ක දේපළ සොරාගත් සංචාරක මග පෙන්වන්නෙක් අත්අඩංගුවට

භාෂා 7 ක හසල දැනුමක් ඇති සංචාරක මඟ පෙන්වන්නෙකු රුපියල් ලක්ෂ 60 කට අධික සොරාගත් දේපළ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

සැකකරු එලෙස සොරාගෙන තිබූ නවීන මාදිලියේ ලැප්ටොප් පරිගණක හතක් , පාපැදි තුනක් , රූපවාහිනි යන්ත්‍රයක් , ජංගම දුරකථන , රුපියල් ලක්ෂ පහකට ආසන්න තීන්ත තොගයක් පොලිස් බාරයට ගෙන ඇත

කොල්ලුපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයක් වන්දනාමාන කිරීම සඳහා පැමිණි විශ්ව විද්‍යාල සිසුවකුගේ ලැප්ටොප් පරිගණකයක් අඩංගු බෑගයක්, ලැප්ටොප් පරිගණකයක් නොමැති බෑගයක් තබා පුද්ගලයකු ඉතා සූක්‍ෂම අයුරින් රැගෙන යන අයුරු එහි සවි කර තිබූ සීසිටීවී කැමරාවක සටහන්ව තිබිණි.

එම දර්ශනවල සිටින පුද්ගලයා දෙහිවල වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක දිවි ගෙවන පුද්ගලයෙක් බවට පොලිස් සැරයන් 60161 වසන්ත නිලධාරියාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොලිස් වසම් පහක ඉකුත් වසරක පමණ කාලය තුළ සිදු වූ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයාමොහු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බම්බලපිටිය කොල්ලූපිටිය වැල්ලවත්ත ගල්කිස්ස හා දෙහිවල පොලිස් පොලිස් වසම්වල සැකකරු සිදු කළ සොරකම් අටක තොරතුරු අනාවරණය කළ අතර ඒවයෙන් සොරා ගත් දේපල ද සැකකරු පදිංචිව සිටි නිවස තුළ හා ස්ටේට් පුර දෙහිවල ගල්කිස්ස හා කොහුවල ඇතුළු කොළඹ අවට පදිංචි පුද්ගලයන්ට අඩු මුදලට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු නාත්තන්ඩියේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සංචාරක මගපෙන්වීමේ රැකියාවේ යෙදෙන්නෙකි.

32 හැවිරිදි සැකකරු ඉංග්‍රීසි, දෙමළ, සිංහල, හින්දු, අරාබි, රුසියන් හා ජර්මන් භාෂාවෙන් කතා කිරීමේ නිපුණත්වයක් ලබා ඇත්තෙකු බවද පොලිසිය සඳහන් කරයි

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර ස්ථානාධිපති සුමින් ජයසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත ඒකක දෙක ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චින්තක දසනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 56958 ප්‍රසන්න 60161 වසන්ත 61249 ලංකා 40730 දනුශ්ක ,පොලිස් කොස්තාපල් වරුන්වන 83774 සුදීර 104607 සෙනෙවිරත්න මහත්වරුන් පරීක්ෂණ පවත්වයි