ඔන්ලයින් මුදල් ජාවාරම් කළ විදේශිකයෝ 30ක් මීගමුවේදී අත්අඩංගුවට

ඔන්ලයින් මුදල් ජාවාරම් කළ විදේශිකයෝ 30ක් මීගමුවේදී අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධීව සංවිධානාත්මක අයුරින් මූල්‍ය ගනු-දෙනු මෙහෙයවූ මීගමුවේ මධ්‍යස්ථාන දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (24) රාත්‍රීයේ වටලා ඇති අතර එහිදී විදේශිකයන් 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම විදේශිකයන් අතර චීන, පිලිපීන, මාලදිවයින්, පාකිස්තාන, ඉන්දියා, නේපාලය ඇතුළු රටවල් කිහිපයකම පුරවැසියන් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

මොවුන් මේ වංචාව සිදු කර ඇත්තේ මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බව එම නිලධාරියා පැවැසීය.

රුපියල් 5000ක මුදලක් ආයෝජනය කළොත් රුපියල් තුන්දාහක ලාභයක් ලැබෙන බව සඳහන් කරමින් විශාල වශයෙන් මුදල් රැස් කරමින් මොවුන් මෙම වංචාවල නිරතව සිටි බව එම නිලධාරියා කීවේය.

මෙම නිවාස දෙකෙහි තිබූ සංනිවේදන උපකරණ විශාල තොගයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සිට මේ පිරිස වෙනත් රටවල් වලටද මෙම ජාවාරම ව්‍යාප්ත කර ඇති බවට පොලිසිය සැක කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මේ විදේශිකයන් රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි.

මොවුන් බිලියන ගණනක මුදල් වංචා කර ඇතැයි සැක කරන බවද මෙවැනි තවත් ස්ථානයක් ඊයේ රාත්‍රියේම පරික්ෂා කිරීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

ගායාන් කුමාර වීරසිංහ