වන අලියෙකු ඝාතනය කර පුළුස්සා වල දැමූ අයෙක් අත්අඩංගුවට

වන අලියෙකු ඝාතනය කර පුළුස්සා වල දැමූ අයෙක් අත්අඩංගුවට

වන අලියෙකු ඝාතනය කර පුළුස්සා වල දැමූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය වනජීවී කාර්යාලය පවසයි.

ඌරන් සඳහා යෙදූ විදුලි රැහැනක පැටළී මෙම වන අලියා මීට දින කීපයකට පෙර මිය යන්නට ඇතයි වනජීවී නිලධාරීහු සැකපළ කරයි.

නිකවැරටිය කොටුඅත්තාවල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මියගිය වන අලියාගේ කොටස් පුලුස්සා වළදමා ඇති බවට පසුගියදා (29) ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීහු පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ ඉඩම අයිතිකරු ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් සිටියදී කුරුණෑගල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 47 ක තිදරු පියෙකු වන අදාළ පුද්ගලයා වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

උගුල් යොදා වන අලියෙකු ඝාතනය කිරීම, ඝාතනය වසන් කිරීම ඇතුළු චෝදනා කීපයක් අදාළ පුද්ගලයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතය.

මියගිය වන අලියාගේ සිරුර විදුලි කියත් මගින් කොටස් කර පුළුස්සා වළ දමන්නට ඇතැයි සැකකෙරේ. වන අලියාගේ සිරුරු කොටස් ඊයේ (30) දින බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගොඩගන්න ලදී.

වනජීවි දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ප්‍රධානත්වයෙන් සිරුර සම්බන්ධ පරීක්ෂණ සිදුකර නැවත වලළා දැමීමට පියවර ගත්හ.

මියගිය වන අලියා අඩි 7-8 පමණ උසින් යුතු සතෙකු බව පරීක්ෂණ වලදී අනාවරණය විය.