අර්චුනා රාමනාදන්ට CIDයෙන් කැඳවීමක්

අර්චුනා රාමනාදන්ට CIDයෙන් කැඳවීමක්

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද (23) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ ඔහුට එරෙහිව සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව විසින් මන්ත්‍රීවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.

ඔහු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරිකයින් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදය අවුස්සමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහා මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි මෙම පැමිණිල්ල ගොනුකරමින් සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව ඉල්ලා සිටින්නේ.

මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව අසුන් වෙන් කර නොතිබූ බැවින් ඊයේ (21) දිනයේ මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන්ගැනීමට අවස්ථාව සලසා දී තිබූ අතර එහිදී යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මැතිසබයේ විපක්ෂ නායකට පිරිනැමෙන අසුනේ වාඩිවී සිටියේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරියෙකු පැමිණ එය සම්ප්‍රදායානුකූලව විපක්ෂනායකවරයා හට වෙන්කර ඇති ආසනය බව මන්ත්‍රීවරයාට දැනුම් දුන්නද ඔහු එම අසුනින් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ අතර එහිදී ස්වාධීන මන්ත්‍රීවරයා කටයුතු කළ ආකාරය සමාජ මාධ්‍යන්හි පවා දැඩි කතාබහට ලක්විය.