ජනපති අනුර පිලිගනීමේ නිල උත්සවය අද
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය අද (16) ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වීමට නියමිතය.
අද පෙරවරු 10ට ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ වනු ඇත.
ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඊයේ (15) පස්වරු 5.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස රැගත් ගුවන් යානය ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වුණි.
එහිදී එරට තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන්, ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතාරාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා වී ඇති බව සඳහන්ය.
එසේම ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, මෙරට කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අතර පැවති හමුවේ දී මෙරට ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුවී ඇති බව සඳහන්ය.
මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්. ජයිශංකර් මහතා මෙහිදී පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.