පළාත් සභා ක්‍රමයට එකඟ බව අනුර TNA මන්ත්‍රීවරු හමුවේ කියයි

පළාත් සභා ක්‍රමයට එකඟ බව අනුර TNA මන්ත්‍රීවරු හමුවේ කියයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) යාපනයේ සිදු කළ සංචාරය අතරතුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් මහතා, රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හමුවි තිබෙනවා.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ද හමුවූ අනුර කුමාර දිසානායක මහතා ඔහු සමගද සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් ජාතික සමගිය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර පළාත් සභා පවතින ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවට ජාතික ජන බලවේගය පිළිගන්නා බව අනුර කුමාර දිසානායක මහතා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය..

ඔහු පවසන්නේ, එය තවදුරටත් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවය.

“මෙතැනින් එහාට යෑම සඳහා අපි සාකච්ඡාවක් ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කමක් අවශ්‍ය වී තියෙනවා.

ඒ විතරක් නෙමෙයි දැනට ව්‍යවස්ථාව තුළ නීති තුළින් ස්ථාපිත කරලා තියෙන සමගිය සඳහා තිබෙන අවස්ථාවන් අපි අවම කළ යුතුව තියෙනවා.

සමහර ඒවා නීතියට ව්‍යවස්ථාවට පමණක් සීමාවෙලා. ඒවා ප්‍රායෝගිකව සිදුකිරීමට ඉන් ඔබ්බට ගිහින් ක්‍රියාකාරකම් අවශ්‍යයි. පළාත් සභා කියන්නේ බලය බෙදාහැරීමක්. ඒ නිසා දැනටමත් ක්‍රියාත්මක පළාත් සභාවලට අපි එකඟත්වය පළ කළා.

ඒ විතරක් නෙමෙයි පළාත් සභාවලින් දැනට තියෙන තත්ත්වයෙන් විසඳුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිළිගන්නවා.

ඒ නිසා අපි ඉන් ඔබ්බට යා යුතුයි. ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික ආදි කේෂ්ත්‍ර ගණනාවක වෙනස්කමකින් තමා ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ කියලා අපි විශ්වාස කරනවා.”

Share This