කුඩු අංජු බේරගන්න ප්‍රංශ පෙම්වතිය නීතිඥ මණ්ඩලයකින් සහය ඉල්ලයි

කුඩු අංජු බේරගන්න ප්‍රංශ පෙම්වතිය නීතිඥ මණ්ඩලයකින් සහය ඉල්ලයි

ඉකුත් දා ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රත්මලානේ කුඩු අංජු නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් වළක්වා ගැනීමට ඔහුගේ අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික සුරූපිනිය නීතිඥ මණ්ඩලයකගේ සහය පතා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් පැවසීය.

මේ වන විට රිමාන්ඩ් බාරයට පත් කර සිටින කුඩු අංජු නැමැත්තා මෙම මස 4 වෙනිදා යළිත් ප්‍රංශ අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එහිදී මෙම නීතිඥ මණ්ඩලය ඔහු වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ප්‍රංශ ජාතික සුරූපිනියක් සමග කලක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන කුඩු අංජු නැමැත්තා ඇය සමඟ විවාහ වීමට ශ්‍රී ලාංකික විවාහක බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා ඇතත් ඇය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇතැයි ද මෙරට බුද්ධි අංශවලට දැනගැනීමට ලැබී ඇතැයි පැවසේ.

මෙම හේතුව මුල්කරගනිමින් අඹුසැමි යුවළ අතර නිතර ගැටුම් ඇති වෙන බවත් ඇතැම් අවස්ථාවල කුඩු අංජු නැමැත්තා සිය බිරිඳව කාමරයක දමා සිර කරගෙන ඇයට අමානුෂික ලෙස පහර දෙන බවත් වැඩිදුරටත් දැනගැනීමට ලැබී ඇතැයි එම බුද්ධි අංශ නිලධාරියා පැවසීය.

සැමියාගේ පහරකෑම් ඉවසා සිටීමට නොහැකි වූ බව කියන බිරිඳ ඔහුගේ තතු ප්‍රංශ පොලීසියට දැනුම් දීමෙන් පසු ඉකුත් 27 වැනි දා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කුඩු අංජු නැමැත්තා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විධිවිධාන මේ වන විටත් යොදා ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.