ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු – විභාග කොමසාරිස්

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු – විභාග කොමසාරිස්

ප්‍රශ්න ගත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අදාල ප්‍රශ්න 03 සඳහා සියලුම විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිටවී ඇති බවට පැමිණිලි ඉදිරිපත් වුණා.

ඒ අනුව, සිසුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොණු කෙරුණු අතර පසුගිය 31 වනදා එහි තීන්දුව ලබා දුන්නා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ, විභාග කොමසාරිස්වරයාට ඇති බලතල අනුව විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් කමිටුවේ නිර්දේශ අතුරින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසටයි.

එහි පළමු නිර්දේශය වූයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබාදීමේදී මතභේදාත්මක ප්‍රශ්න 03 ඉවත් කර ඇගයීම් සිදු කිරීමයි.

දෙවැන්න වූයේ අදාළ ප්‍රශ්න 03 සඳහා සියලු විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමයි.

පළමුවන ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම එහි තුන්වන නිර්දේශය වුණා.

තත්ත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ විභාග කොමසාරිස්වරයා මෙහි දෙවන නිර්ද්ශය වන අදාළ ප්‍රශ්න 03 සඳහා සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කළා.

මේ අනුව ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවයි, අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ.