මත්පැන් මිල විශාල ගණනකින් පහළට ?

මත්පැන් මිල විශාල ගණනකින් පහළට ?

මත්පැන් මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඉදිරියේදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු කෙරෙමින් පවතින බවයි, සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසුවේ.

මේ අනූව මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවයි, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා, මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමකදී.සුරාබදු කොමසාරිස්වරයා විසින් පෙන්වා දී ඇත්තේ, මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බැවින් මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බවයි.

එම නිසා මත්පැන් මිල අඩුකරන ලෙසයි, ඔහු ඉල්ලා ඇත්තේ.

එමෙන්ම, මිල ඉහළ යාම හමුවේ මත්පැන් අලෙවිය 40%කින් අඩුවී ඇති බවත් පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම ද වැඩිවී ඇති බවයි, ඔහු එහිදී අවධාරණය කළේ.

මෙහිදී මත්පැන් සමාගම් අවධාරණය කර ඇත්තේ, අරක්කු බෝතල්වල මිලෙන් 80% ක් 90%ක්ම වැට් සහ වෙනත් බදුවලින් සමන්විත බවයි.

ඉකුත් 2023 ජූලි පළමුවැනිදා නිකුත්කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනූව මත්පැන් සහ මධ්‍යසාර මිල ඉහළ දැමුණු අතර ඒ අනූව අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 1000කින් ඉහළ ගියේය.

මේ හේතුවෙන් ඉදිරියේදී අරක්කු සහ බියර් මිල සැලකිය යුතු මිලකින් පහත යනු ඇති බවයි, සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන්නේ.