“ලංකාවේ 25% ක් දරුණු ආහාර අර්බුදයකට ලක්වෙනවා – දරුවන් ලක්ෂ 30 කට අයහපත් ප්‍රතිඵල”

“ලංකාවේ 25% ක් දරුණු ආහාර අර්බුදයකට ලක්වෙනවා – දරුවන් ලක්ෂ 30 කට අයහපත් ප්‍රතිඵල”

ශ්‍රි ලංකාවේ සියයට 25 ක් දරුණු ආහාර අර්බුදයකට ලක්වන බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි.

ඒ අනුව, දරුවන් ලක්ෂ 30 ක් පමණ එහි අයහපත් ප්‍රතිඵල වලට ලක්වන බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ නිසා ජාත්‍යන්තර සංවිධානවලින් ආධාර ලබාගත යුතු තත්වයක් නිර්මාණය වී තිබෙන බවත් එවැනි වටපිටාවක පවතින නියඟය ද ගැටලුකාරී බව අමරසිංහ මහතා කියයි.

මේ අතර ආහාර ඇතුලු රටේ අර්බුද විසඳීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට ආර්ථික ස්ථායීකරණ කමිටු සභාපති ලෙස, පාඨලී චම්පික රණවක මහතා පියවර ගත් බව ද සභාපතිවරයා පවසයි.

වර්තමානයේ රටේ බරපතල ගැටලු රැසක් පවතින බවත් ආහාර, ඖෂධ, ප්‍රවාහන, පෝෂණ මෙන්ම තවත් ගැටලු රැසක් උද්ගතව තිබෙන බවත් ඒවා විසඳිය හැකි ආකාරය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දී ඇතැයි ද විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට ලක්ව සිටී. ප්‍රෝටීන් ඌණතාව එහි ප්‍රමුඛ ලක්ෂණයකි. එය අනාගත ගැටලු රැසක් ඇතිකිරීමට හේතුවකි. ළමුන්ගේ සෞඛ්‍ය තත්ව බිඳ වැටීමට මෙම අර්බුදය සාධකයකි. උස අඩු, කෘෂභාවයට ලක්වූ ළමුන් සහ ළමුන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම ට ද පෝෂණ ඌණතා හේතු වෙයි. විටමින් හා ඛණිජ ලවණ ඌණතාද හඳුනාගෙන තිබේ. මෙම තත්වයට කඩිනම් විසඳුම් ලබාදීම රජයේ වගකීම බවත්, රජය එය ඉටු කිරීමට පියවර ගෙන නැති බවත් අමරසිංහ මහතා පෙන්වා දෙයි.

රජයේ මැදිහත්වීමෙන් ප්‍රෝටීන් සහිත ආහාර අඩු මිලට සැපයීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව ද සභාපතිවරයා පවසයි.

මේ අතර, එක්සත් ජනරජ පෙරමුණු කාන්තා අංශ සභාපති ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය කියාසිටියේ, නිවාස ආශ්‍රිත වියදම් කළමනාකරණය ගැටලුවක්ව ඇති බවයි.

මේවනවිට වියදම තුන් ගුණයකින් වැඩි වී තිබේ. එහෙත් ආදායම වැඩි වී නැත. ඒ නිසා විදේශ ආධාර හෝ ලබාගනිමින් වත්මන් අර්බුද විසඳාගත යුතු බව ආරියරත්න මහත්මිය පවසයි.

වත්මන් ගැටලු විසඳා ජනතාවට යහපත් ජීවන තත්වයක් අත්කර දීමට මැදිහත් වන්නැයි ජනරජ කාන්තාවෝ විධායක සභික මධුරි රණසිංහ මහත්මිය ඉල්ලයි.

වත්මන් ගැටලු තත්වාකාරයෙන් හඳුනාගත යුතුය. ඉන්පසු ආදායම් වර්ධන ක්‍රමෝපා සැකසීම ද අවශ්‍ය බව රණසිංහ මහත්මිය කියාසිටි.

එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක වෙමින් ඇය මේ බව කියා සිටියාය.

Share This