ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායිගෙන් ශ්‍රී ලංකා පිලට අපූරු භෝජන සංග්‍රහයක් (Video)

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායිගෙන් ශ්‍රී ලංකා පිලට අපූරු භෝජන සංග්‍රහයක් (Video)

එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා දිවයිනට පැමිණ සිටින ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරු වන රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ දී විශේෂ ආහාර වේලක් සකස් කර සහෝදර ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, චාමික කරුණාරත්න ඇතුළු පිරිස සමග බෙදාගෙන කෑ පුවතක් වාර්තා වේ.

එම අවස්ථාව ආවරණය කරමින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම විසින් පටිගත කරන ලද වීඩියෝවක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල යූ ටියුබ් නාලිකාවේ ද විකාශය කර තිබේ.

එම ආහාරය පකිස්ථානයේ ප්‍රසිද්ධ ආහාරයක් වන “Shinwari Rosh හෙවත් Mutton Rosh” නම් විය. එය සකස් කරනු ලැබුවේ දර භාවිතයෙන් එළිමනේ සැකසූ ලිපකය.

ආහාර වේල පිළියෙළ කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ආහාර වේල සඳහා දෙවියන්ට ස්තූති කරමින් යාච්ඥා කිරීමෙන් අනතුරුව එය සිය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග බෙදා ගත්තේය.

එම කෑම වේල රස විඳිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න පැවසුවේ, තමන් මීට පෙර එළුමස් අනුභව කළ නමුත් මෙවැනි රසවත් ලෙස එළුමස් ආහාරයට නොගත් බවත්, මෙය විශේෂ ආහාරයක් බවත්ය. එළුමස් ව්‍යංජනය ඉතා මෘදු බවද ඉතා රසවත් බව ද ඔහු කීවේය.

“මෙම එළුමස් කෑම පිළියෙළ කළේ කවුරුන්දැයි මා දන්නේ නෑ… නමුත් මම ඔවුන්ගෙන් මේ වට්ටෝරුව වට්ටෝරුව ඇහුවා”, චාමික කීවේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ද ප්‍රකාශ කළේ, තමන් මේ ආහාරය ගත්තේ පළමු වතාවට බවය. ඊට ඉතාම කැමති බව ඔහු පැවසුවේය. ඔහු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ස්තුති කර තිබිණි.

Share This