පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

ආදුරුප්පු වීදිය පොලිසිය මගින් වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරමැදිරිය තුළ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු ආගන්තුක පුද්ගලයෙකු ලබා දුන් මාළු පාන් හා සයනයිට් මිශ්‍ර බවට සැක කරන කිරි තේ පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ බව කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ, වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක එස් ජී පී සුනිල්, පොලිස් කොස්තාපල්වරුන් ලෙස කටයුතු කළ 79239 ටී ඩී ප්‍රියදර්ශන හා 25486 ජේ විජේසිංහ යන නිලධාරීන්ය.

පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම සිදුකර ඇත්තේ, සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරියාට හා උපසේවක නිලධාරියාට ප්‍රමාණවත් නියෝග හා උපදෙස් ලබා නොදීම සම්බන්ධයෙනි.

පොලිස් කොස්තාපල් (79239) ටී ඩී ප්‍රියදර්ශන නිලධාරියාගේ වැඩ තහනම සිදුකර ඇත්තේ, පිටතින් ආහාර ගෙන එන ලද පුද්ගලයා පරීක්ෂාවකින් තොරව ඔහුගේ අනනතාවය පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් තොරව කටයුතු කර ඇති බවට අනාවරණය වීම හේතුවෙනි.

පොලිස් කොස්තාපල් (25486) ජේ විජේසිංහ නිලධාරියාගේ වැඩ තහනම සිදුකර ඇත්තේ, නිලධාරියා පිටතින් ආහාර ගෙන එන ලද පුද්ගලයා පරීක්ෂාවකින් තොරව කටයුතු කර ඔහු සම්බන්ධයෙන් දෛනික තොරතුරු සටහන් පොතේ සටහන් නොයෙදීම සම්බන්ධයෙනි.