අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ඉන්දියාවේ අදානි සමාගම මගින් මන්නාරම වෙඩිතලතිවු ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ යළි සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ මෙම ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදීයි.

මන්නාරම සුලං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ අදානි සමාගම අතර ගිවිසුම් ගතවී තිබෙනවා. එම ගිවිසුම සහ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින් ඉල්ලා තිබෙන්නේ.

අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය කරුණු දැක්වූවා.

දෙපාර්ශ්වය අතර ඇතිකරගත් ගිවිසුමේ සහ පෙත්සම්වල අන්තර්ගත කරුණු සැලකිල්ලට ගෙන අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි කරුණු සලකා බැලීමට නියමිත බව ඇය පැවසුවා.

ඉන් අනතුරුව ඊට අදාළව තීරණයක් ගැනීමට නියමිත බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරිය සඳහන් කළේ.

මහ මැතිවරණයෙන් පසු පිහිටුවන නව අමාත්‍ය මණ්ඩලය විසින් මීට අදාලව ගනු ලබන තීරණය දැනුම් දීම සඳහා දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියා.

එතෙක් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය වාචිකව අධිකරණයට දන්වා සිටියා.

මෙම කරුණු කෙරෙහි එකඟතාව පළකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අවසර දුන් අධිකරණය මෙම කටයුතුවලට අදාළව රජයේ යම් නිරීක්ෂණයක් වේ නම් ඒවා ලබන ජනවාරි මස 31 වනදාට පෙර ගොනු කරන ලෙසත් නියෝග කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මන්නාරම යෝජිත සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට නියමිත ප්‍රදේශය හරහා ශ්‍රී ලංකාව තුළට සංක්‍රමණික පක්ෂීන්ගේ ප්‍රවේශ මාර්ගය පිහිටා ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් පක්ෂීන්ගේ ජීවිත අනතුරට ලක්වී පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අදාල පෙත්සම් මාර්තු මස 18 සහ 19 යන දිනවල කරුණු සලකා බැලීම සඳහා කැඳවන බවට අධිකරණය නියෝග කළා.

වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

COMMENTS