මේ වසරේ ගත වූ මාස 8ට රිය අනතුරු 1352 කින් පුද්ගලයින් 1417ක් ජීවිතක්ෂයට

මේ වසරේ ගත වූ මාස 8ට රිය අනතුරු 1352 කින් පුද්ගලයින් 1417ක් ජීවිතක්ෂයට

මෙම වසරේ (2024) ජනවාරි 05වැනිදා සිට අගෝස්තු 10වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරු 1352කින් 1417 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

යතුරුපැදි අනතුරු වලින් වාර්ෂිකව පුද්ගලයන් දහසක් පමණ මිය යන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පෙරේදා (20 දා) මාධ්‍ය හමුවේ පැවැසීය.

පසුගිය වසරේ (2023) සිදුවූ මාරක රිය අනතුරු වලින් දරුවන් 328 දෙනකු (අවුරුදු 5ත් 18ත් අතර වයසේ පසුවන) මියගොස් ඇතැයි ද හෙතෙම කීය.

“වසරකට සිදුවන රිය අනතුරුවලින් පුද්ගලයන් 3000කට වැඩි පිරිසක් මිය යනවා.

ඒ අනතුරුවලින් තුනෙන් එකක් මියයන්නේ යතුරුපැදි අනතුරු හේතුවෙන්. 2023 වසරේදී මාර්ග අනතුරුවල අඩුවීමක් දක්නට ලැබුණා. පසුගිය වසරේ සිදුවූ රිය අනතුරු 2214කින් 2321 දෙනෙක් මිය ගිහින් තියෙනවා.

අවුරුදු 10ක් තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 30,000කට අධික සංඛ්‍යාවක් මැරෙනවා. තිස් වසරක් පැවැති යුද්ධයටත් වඩා මෙය විශාල ව්‍යසනයක්.