යතුරුපැදිය දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

යතුරුපැදිය දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

හලාවත, වට්ටක්කල්ලිය දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී ඊයේ (09) දහවල් සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, හලාවත, වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුක ශෂේන්ද්‍ර පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයෙක් බවයි, පොලීසිය පැවසුවේ.

දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරු පැදියක් කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම දුම්රිය අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තරුණයකු හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකක‌යේ ප්‍රතිකාර ලබන බවද හලාවත පොලිසිය පැවසීය.

අනතුරින් මරණයට පත්වු තරුණයාගේ මව, පියා හා සොහොයුරන් දෙදෙනා මාස කිහිපයකට පෙර අමෙරිකාවේ පදිංචියට ගොස් ඇති බවත් දිනුක එහි රැගෙන යාමට නොහැකි වී ඇත්තේ ඔහු වෙනුවෙන් සකසා තිබු ලියකියවිලිවල තිබු ගැටලු හේතුවෙන් බවත් එය නිවැරදි විමෙන් පසු ඔහුද ඇමරිකා යාමට සුදානමින් සිටි බව වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලබා මේ වන විට හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පසිඳු තේත්මික ප්‍රනාන්දු නමැති තරුණයා විදෙස් ගත වීමට සුදානමින් අදාළ ලියකියවිලි සකසා අවසන්ව අදාළ වීසා ලැබෙන තුරු ලංකාවේ රැඳි සිට ඇති බව ද වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හලාවත පොලිසිය විසින් සිදුකරනු ලබනවා.