හැටන් බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි

හැටන් බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක දමින්ද සේනානායක මහතා විසින් අද (23) දින පරික්ෂාවට ලක් කෙරිණ.

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ ඉල්ලිමක් මත පොලිස් භාරයේ ඇති අනතුරට පත් බස් රථය ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක් කෙරිණ.

මෙම පරික්ෂාවේදී ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු දොරටුව විවෘත වී ඇත්තේ, කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියාවිරහිත වී තිබීම නිසා බවටත්, එම දොර තාවකාලිකව වසා දැමීමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවටත් මෝටර් රථ පරික්ෂකවරයා තහවුරු කරගෙන ඇත.

තවද රියදුරුගේ ආරක්ෂිත බද පටිය නොමැති බවත්, බස් රථය තුල අනතුරු සිදුවිය හැකි සුදු යකඩ උපාංග රැසක් සවි කර තිබීම නිසා මගින් තිදෙනෙකු මියගොස් මගින් විශාල පිරිසකට බරපතල තුවාල සිදුවීමට හේතුව වී ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පොලිසිය වෙත පැවසිය.

බස් රථයේ ආසන ප්‍රමිතියකට සවි කර නොතිබීම නිසා ආසන සියල්ල ගැලවී ගොස් එකිනෙක ගැටීම නිසා මගීන්ට සිදු වූ තුවාල බරපතල වීමට හේතුව වී ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පැවසීය.

මගි ප්‍රවාහන වාහන වල අමතර උපාංග කිසිවක් සවි කිරිමට ඉඩ ලබානොදෙන ලෙසත්, එසේ සවි කර ඇති උපාංග ගලවා ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා රථ වාහන පොලිසියේ නිලධාරින්ට පැවසීය.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ බස් රථයක් ධාවනයට එක් කිරීම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවද හැටන් පොලිසිය පැවසීය.