යතුරු පැදි අනතුරින් පියා මරුට – දියණිය රෝහලට
හලාවත කොළඹ ප්රධාන මාර්ගයේ මහ වැව නගරය ආසන්නයේදී ඊයේ (17) පස්වරුවේ සිදුවූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඔහුගේ දියණිය රෝහල් ගත කර ඇතැයි තොඩුවාව පොලිසිය පැවසීය.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ, පම්බල ප්රදේශයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ ජූඩ් නිරෝෂන් නමැති පනස් හැවිරිදි පුද්ගලයෙකි.
විසි හතර හැවිරිදි ඔහුගේ දියණිය තුවාල ලබා මාරවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
පොලීසිය පැවසුවේ, ඥාතියෙකුගේ නිවසකට ගොස් යතුරු පැදියෙන් ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී යතුරු පැදිය වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවයි.
අනතුරට පත් වෑන් රථය එක්තරා රාජ්ය සංස්ථාවකට අයත් වෑන් රථයක් බවද පොලිසිය පවසයි.
රථයේ රියදුරට නින්ද යාමත් සමග වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියද යට කරගෙන ගොස් මාර්ගයේ ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලක හැපී නැවතී ඇත.