තරුණ යුවළකට දිවි අහිමි කළ අකුරැස්සේ රිය අනතුර

තරුණ යුවළකට දිවි අහිමි කළ අකුරැස්සේ රිය අනතුර

අකුරැස්ස සියඹලාගොඩ – පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී ඊයේ (25) පස්වරුවේ සිදුවූ මාරක රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, පාසල් ගුරුවරියක වන 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස හා ඇයගේ සැමියා වන ඉන්දික සම්පත් නැමති මාකදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අකුරැස්ස පොලීසිය පැවසීය.

මියගිය ගුරුවරිය පිටබැද්දර මෙදේරිපිටිය පාසලෙන් මාරු වී යෑමේ උත්සවයේදී ලද තෑගිද රැගෙන සිය සැමියා සමග මාකදුර නිවස දෙසට සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට තිබේ.

ඒ අතරතුර, අකුරැස්ස දෙස සිට පිටබැද්දර දෙසට ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් ඔවුන් දෙදෙනා යටකරගෙන ගොස් අසල පස් කණ්ඩියක හැපී නතර වී ඇතැයි පොලීසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් සුඛෝපභෝගී වෑන් රථය පැදවූ ව්‍යාපාරිකයකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව සිට ඇත්දැයි සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය භාග්‍යාගේ දේහය අකුරැස්ස රෝහලට රැගෙන විත් තිබූ අතර ඉන්දිකගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබුණි.

මියගිය භාග්‍යා ගැබිණියක් බවත් පොලීසිය වැඩිදුරටත් කීය.