මර්දනකාරී අණ පනත් ගෙන එමින් ජනපති රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයනවා – ජනමාධ්‍ය, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව

මර්දනකාරී අණ පනත් ගෙන එමින් ජනපති රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයනවා – ජනමාධ්‍ය, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව

අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර රට ඒකාධිපති පාලනයකට ගෙනයෑම සඳහා මර්දන නීති ගෙන ඒමට රජය ගත් පියවර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටපත් කිරීමේ පටු ප්‍රයත්නයක් බව ජනමාධ්‍ය, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව තවත් පාර්ශව ගණනාවක් සමග එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම් වලට මුළුමනින්ම පටහැණි ලෙස මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සංවිධානයවීමේ අයිතිය සහ සිවිල් ක්‍රියාකාරීත්වයන්හි නිරතවීමේ අවකාශ සීමාකිරීමේ මර්දනකාරී අණ පනත් ගෙන එමින්, රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයෑමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දරමින් සිටින උත්සාහය පිළිබඳව සමාජ දේශපාලන ක්‍රමයේ යහපත් හා ගැඹුරු වෙනසක් අපේක්ෂා කරන පුරවැසියන් සහ සමාජ ක්‍රියාකාරිකයන් වශයෙන් සිය දැඩි අවධානය යොමුවී තිබෙන බව එම ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වේ.

ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ කණ්ඩායම් 50කට අධික සංඛ්‍යාවක් මෙන්ම එක් එක් මාධ්‍යවේදීන්, ජ්‍යෙෂ්ඨ විද්වතුන් සහ ක්‍රියාකාරීන් 50කට අධික සංඛ්‍යාවකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ප්‍රකාශයේ දැක්වෙන්නේ, ඉදිරි මැතිවරණය ජනතා අරගලයකින් පසුව පැවැත්වෙන බැවින් රටට තීරණාත්මක බවයි.

එම ඒකාබද්ධ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

“නිවැරදි, සමබර, අපක්ෂපාතී සහ නිර්පාක්ෂික තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා කිසිදු වාරණයකින් තොරව විවාදයට සහ සාකච්ඡාවට පොදු වේදිකාවක් සපයමින් ඉදිරි මැතිවරණය නිදහස් හා සාධාරණ බව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ආණ්ඩු පක්‍ෂයට මෙන්ම විරුද්ධ පක්‍ෂවලට ද තම අදහස් හා ප්‍රතිපත්ති මහජනතාවට දැනුම්දීමට සියලු අවස්ථාවන් සහතික කළ යුතුය.

මර්දන නීති ගෙන ඒම තුළින් රට ඒකාධිපති පාලනයකට ගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය දරන උත්සාහය පිළිබඳව පුරවැසියන් ලෙස අපි දැඩි කනස්සල්ල පළකරනවා. මහජන වරමකින් තේරී පත්නොවූ ජනාධිපතිවරයකුට සහ ප්‍රතික්ෂේප වූ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකට මර්දනකාරී නීති සම්මත කිරීමට සහ නව නීති පැනවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අපි තරයේ විශ්වාස කරමු.”

රජය විසින් ඉදිරිපත් කරන ලද අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පෙත්සම්කරුවන් 45 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති අතර නඩු විභාගය ආරම්භයේදී නීතිපති දෙපාර්තමේන්තුව පනත් කෙටුම්පතට සංශෝධන 32කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.

එම නඩු විභාගයෙන් අනතුරුව වගන්ති 31ක් සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ලෝක ප්‍රකට සමාගම්වලින් සමන්විත Asian Internet Coalition දීර්ඝ ලිපි දෙකකින් විෂය භාර ඇමැතිවරයාට පෙන්වා දී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පෙර සහ පනත් කෙටුම්පත මගින් අන්තර්ජාතික රෙගුලාසියේ මූලධර්ම උල්ලංඝනය කර ඇති බවයි.

අන්තර්ජාලය තුළ සිදුවන අපරාධ මැඩලීමට ප්‍රමාණවත් නීති රට තුළ පවතින බැවින් අන්තර්ජාලය පාලනය කිරීම සඳහා කෙටුම්පත් පනතක් අවශ්‍ය නොවන බවට ඔවුහු විශ්වාස කරති.

මෙම සියලු කරුණු නොසළකා හරිමින් තවමත් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඒවා දෙවැනි වර කියවීමේදී පරාජය කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන්ද ඔවුන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය නීති සංසදය, නීතිය සහ සමාජ භාරය, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය, දකුණ ආසියා නිදහස් මාධ්‍ය සංගමය, ලංකා ගුරු සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාර වෘත්තීය සමිතිය (FMMTU), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), මුස්ලිම් මාධ්‍ය සංසදය සහ යාපනය පුවත්පත් සමාජය ඇතුළු තවත් පිරිස් මෙම ප්‍රකාශයට අත්සන් තබා තිබේ.

 

 

 

Share This