වී කිලෝ ලක්ෂ 16ක් සිවිල් ආරක්ෂක බලකායේ ගබඩාවල

වී කිලෝ ලක්ෂ 16ක් සිවිල් ආරක්ෂක බලකායේ ගබඩාවල

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පසුගිය වර්ෂයේ මහ කන්නයේදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලට අයත් අක්කර 4471ක, වී වගාව සිදු කිරීමෙන් ලබා ගත් අස්වැන්න වී කිලෝග්‍රෑම් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට (20) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකායන්ට අයත් වී ගබඩාවල ගබඩා කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කේ.ඒ.පි.පි ප්‍රනාන්දුගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සියලුම වී අස්වනු ජනතාවගේ පරිභෝජනය සඳහා රජයේ පාලන මිල ගණන් යටතේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලබා දීම දැනට සිදු කරමින් පවතිනවා.

මීට අමතරව අක්කර 305 ක පමණ භුමි ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කර ඇති අතර එම වගාවන්ගේ අස්වනු නෙලීම ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ආර්ථික භෝගයක් වශයෙන් පොල් ද අතුරු භෝග වශයෙන් පළතුරු සහ එළවළු මෙන්ම කුරක්කන්, තල ආදී ධාන්‍ය වර්ග ද වගා කර වෙළඳ පොළට නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.