මධ්‍යම අධිවේගයේ අනතුරකින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ජීවිතක්ෂයට

මධ්‍යම අධිවේගයේ අනතුරකින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ජීවිතක්ෂයට

මධ්‍යම අධිවේගීමාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් ඊයේ දින (18) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.

අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළුව එහි ගමන් ගත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් තිබෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ගුනේන්ද්‍ර මහතායි.

මියයන විට ඒ මහතා එලෙස 46 වන වියේ පසුවුණි.

පසුගිය දා ඔහු සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙලෙසෙ අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දීය.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සිදුව තිබුණේ, ඊයේ (18) රාත්‍රී කාලයේ දී වන අතර, කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.